Saturday, February 16, 2013

_ _ කුරුළු කූඩුව


තුනී මුදු තටු අතර - පොල් ගසක ගුලක, යට
වසනු මට හැකි වුවද - බැහැ එහෙම  මගේ පෙමට
තජ් මහල් තනන්නට -  කිරිගරුඬ නැත මෙමට
යන්තමින් වඩු වැඩෙන් - තනමි ගේ පෙම් රසට

පරඩැල්ව ගිය තණින් - තනමි කැටයම් දමා
සියුම් සුදු පුළුන් ගෙන - යහන් ගැබ තනමි මා
රෑ කණා මැදිරි ගෙන - අලවමින් හැඩ දමා
එලිය කර-වමිය රැය - නුඹේ සිනහ දකිනු මා

පැට්වුන්ට කුටි දෙකයි - නුඹ සමග වාසයයි
පැලුනු පා රිදුම්දෙන - බවද මට අමතකයි
දොර දිගට පහලටයි - සොර සතුරු බිය නසයි
නුඹව කැන්දන් එන්න - දැන් හොදම කාලයයි

සුන්දරයි ලාලිතයි - පියාපත් සුකුමලයි
මගේ මනමාලි වී - පිටුපසින් ඈ හිඳියි
අර පෙනෙන ගහ නුඹේයි - මගේ රජ දහන වේයි
පැවසුවත් මා තුටුන් -  කොහිද මා නිවස වෙයි

බියකරුයි හද තවයි - කෝ කොහිද ඈ අසයි
ඇස් අගින් ගලා ගිය - කඳුළු බිඳු හද තෙමයි
ඈත තිරිසන් සතයි - අත මගේ කූඩුවයි
කෙලෙස මා ඉවසම්ද - බිඳුනු පෙම් ලොකයයි

No comments:

Post a Comment