Wednesday, April 23, 2014

මල්ලියේ

"මාතූ පාදම්" මතකේ නැතිවද
බාල කාලේ කෙරුව පාඩම්
නැතොත් ඇගපත උස්මහත් වී
හිතට ආවද සිහින් මදි කම්
නුඹට කිරි දුන් අම්මා තවමත්
පෙරට වැඩියෙන් සෙනෙහේ දාරන්
දන නැමෙන්නේ නැතිද මල්ලියේ
දෙපා අභියස නැතිව මල්දම්

"පීතූ පාදම්" කියා මතකද
පෙර කලෙක නින්දට පෙරින්
පියා වයසට ගිහින් හින්ද ද
ඔබෙන් වෙනසක් මේලෙසින්
නුඹව අරගෙන එදා මතකද
හුරතල්, කරා හරි සෙනෙහසින්
වැඳල බලපන් අදත් පායුග
කියයි "මගේ පුතු", ආදරෙන්

Sunday, April 20, 2014

ඉරිසියාව

ආදරය, සමගිය, ඉරිසියාවෙන් තොරව
කොහෙද ලොව ආලයක් රැකී කෙදිනක මෙතුව
එබැවීන්ම මගේ පන ඉරිසියාවෙන් යුතුව
කියමි නුඹ හරි කැතයි ගවුම් ඇන්දම මතුව

තරුණ හිත අසරනයි දුටු විටදි මල් කොමළ
රාගයක් නොව වැහෙන්නේ ආලයක් සරල
දුන්හිඳම පරදවයි සැලෙන විට නුඹ වරල
නුඹට හරි යන්නේ නම් කොට කොන්ඩේ දිග අඟල

දෙපා හරි පියකරුයි දුටුවාම හිත පිරේ
හිතෙන් විඳ සොඳුරු බව මේසේ පවසමි තොසේ
අර බලන් කඩ පිලේ අරුම මොසම් ඇතේ
එන්න අරගෙන දෙන්න තවරන්න නිය දිගේ

Sunday, April 13, 2014

හුරු කම


මනමාළ සඳවතිය 
සැඟවුනේ කොහිද නුඹ
ඉඟි බිඟි පපා පෙර
මැව්ව සියොලඟ සිහින මතකද ?

හද මා පාළුවෙන් 
මිරිකුනා භීතියෙන්
නැති නිසා දකින්නට
පෙර පරිදී ආදරෙන්

දහස් ගව් දුර මැන, 
දුකින් පෙලෙනා හදත් අරගෙන
එනු කෙලෙස කිව මැන
බෝ දුරයි නුඹ, ලඟට පෙනුනට

දුර අහස් ගැබ ගැන,
නුබේ ඔය හුරු කම 
පොළවේ මේ වසමින
සිටින මට නෑ, හිතට බිය දෙන

Tuesday, April 8, 2014

කළුවළා

අර බලන් කළුවළා ඇදී එන අපූරුව
එකිනෙකා සමගියෙන් එකට එයි යුහුසුළුව
අකුණු බාධා කරත් අතර මඟ අපමනව
සැලෙන්නේ උන් නොවෙයි හඬා වැටුනත් සුළුව

සැඩ සුළං අපමනයි උන්ට බාධා ගොඩයි
එක්වන්න මුමුණන්න අපට මෙන් ඉඩ නොමැයි
හිරුද වෛයිරයෙන් පෙලෙයි, එහෙත් මුන් බිය නොවෙයි
දහවලද එකමුතුව විටින් විට පෙල ගැසෙයි

යනෙන මඟ අතර තුර සතුටු කඳුලෙන් තෙමයි
විටක මහ හඬ දිදී දුක තුනී කර හඬයි
කළුවළා කළු නිසා සියළු සතුනද බියයි
එනමුදුත්.. තැලෙන මුන්, හිතින් හරි අසරණයි