Sunday, June 29, 2014

(නුඹේ) කම්මුල්

සිසලස නුඹේ.. මතකය හද කිතිකවන
ලාවට වගේ ඇඳුනා නිල් නෙතු නයන
පාවෙන මතක පොදියක මා ගැට ගැහූන
එනවද නඟේ මාවෙත හවසක පරන

පායන හිරුට රහසින් මුදු වලා යට
කියවෙන කතා නෑසෙන්නට ලතාවට
නුඹ මුමුනමින් මාවෙත පෙම් කතා වට
හිත ඉකිබිඳි විඳගන්නට වරක් හෙට

විසිරුන පියලි පෙණ එකිනෙක වෙරළේ හැපී
වාගේ නුඹත් හිනහෙන කොට සතුට පිරී
කම්මුල් අසල ගැසෙනා වක වලක වැටී
මා හට හැකිය විඳගන්නට  දිවියේ සිරී....

Sunday, June 22, 2014

පාළු සිත

නුඹට හරි ආදරෙන්
කියමි මම සිරුවෙන්
නැති කලට පාළු සිත වාවන්නේ නෑ

කඳුළු බිඳු සිරුවෙන්
බිම වැටි පාළුවෙන්
නැති කලට නුඹේ සිනහ වේලෙන්නෙ නෑ

නුඹේ පෙමට කෑදරෙන්
සිත හරිම අසහනෙන්
නැති විටදී නුඹ සිහිනේ, නින්ද යන් නෑ

ආ විටදි සිරුවෙන්
ලඟ තියන් ආදරෙන්
සිප ගනිමි සිනහ මුව, යන්න දෙන් නෑ

Friday, June 20, 2014

අමනයෙක්මි

අදම හෙටම අප රජ වෙන
ඉතිහාසේ නම බබළන
මමත් පොරකි වෙබ් පිටු මැද
පසු කළකදි නම කියවෙන

ගනින් ආගමත් හනිකට
යමවු කොටව්, අමනයින්ව
බුදු දහමට වින කරවන
එවුන් මරව් දුටු දුටු තැන

මම කියමින් මේ විලසට
රැක ගන්නට බුදු යහගුණ
හිතෙන් හිතෙයි මේ විලසට
රැකුනද පන්සිල් පද තුන

දුවයි මසිත හැම අතටම
කවදද  රැකුනේ සිල් ගුණ
මතකද පන්සල් ගිය දින
මල් පොකුරක් අතින් රැගෙන

මම කා ඇත බුදු දහමම
රැක නැත මම එහි ගුණයම
අමනයෙක්මි ගහපිය මට
රැක ගත්තේ නැත බුදු බණ.......

Monday, June 16, 2014

සත්තූ

කපා ලේ විලක්,
එකම පාටට රතුව දිලෙනා

බලන් හිස් මොලෙන්,
කෑගසා බොරුවටම රඟනා

තොපත් මනු සතෙක්,
හුස්ම අරගෙන ලොවෙහි සරනා

නැහැනේ අයිතියක්,
කාටවත් අනතුරක් කරනා

Friday, June 13, 2014

මල

මල සිප ගනු පරිස්සමෙන්
නටුව සපිරි විස කටුවෙන්
ගත්තත් නුඹ හිමින් සැරෙන්
පාරයි හද විස කටුවෙන්

මල් වල පෙති, හරිම සෙමින්
බලයි ආදරෙන්, හොරෙහින්
රොන් අමරස පරදවමින්
එන්න කියයි හිත සතුටෙන්

රොන් ගන්නට දී මැනවින්
විස කටු මලකට අදරින්
විසත් අඹර රොන් සමගින්,
විඳවන්නට දෙයි හොදවින්

Wednesday, June 4, 2014

පරයන්

පෙර දවසකදී, නැගිටින්නේ
පොරකාලා
දුටු විගසකට, බැරි ඇත්තන්
හට දීලා
රට යන කලද ඉගෙනිමද
වැරදීලා
අම්මේ එන්න කීවෙමි මම,
හඬ ගාලා

ගැහැණුන් බලයි වෙන කවුරුද නැගිටීන්නේ
දුක මට මෙයයි පිරිමින් නැහැ ඉඩ දෙන්නේ
පාසල් ළමුන් දැන් කාලේ පරයන් නේ
අපි පොඩි කාලේ ඉඩ දෙන එක ගැම්මක්නේ

Tuesday, June 3, 2014

බැඳිම්

බැඳිම් එක එක, බිඳ දමා ඈතකට
යන්නට සිතයි මට, දුර ඈත කැළෑවට

හෙටක් ගැන හිත බරක්
ලොවෙත් නැති වැඩ ගොඩක්
හීන පිරි ලොකයක්
කුමට මේවා, දුරයි නිවනක්

ලද සතුට සියුමැළී
එන විටදී දුක බැඳී
යන විටදී අපි මැරී
පලක් වෙද අපි, බැඳපු රන් පොදී

Sunday, June 1, 2014

මම (නුඹ)

දවස් හයකම පුටුවේ හිඳගෙන
ඉතුරු ඉරු දින ගෙදර නිදියන
සතුට කිම යනු අරුත සොයමින
තවම ලතවෙන තරුණයෙකි මම

තවම නොහැඟෙ ජිවිතය ගැන
කෙලෙස වම් මම සතුටු උතුරන
කුමක් කරනුද තවම නොමදැන
තරුණයැයි සිතනා කෙනෙකි මම

මදක් දහඩිය හෙලන්නට බැරි
එලිය දහවල සරන්නට බැරි
පන්සලක් පල්ලියක් දන් නැති
අපේ පරපුරේ එකෙකි කම් නැතී