Tuesday, January 6, 2015

මලක්

බලා හවස පන්සල වෙත යන, පිරිස
නෙලා මලූත්, ඉහ පිරිසිදු පැන්, මුදිත
මලක් පූජ කර, පින් අර ගනු පිනිස
යමි මම, ඇඳන් සුදුවට, පිරුවට කමිස

කරවා මලින් පූජා සමිඳුගේ, නමට
තබලා හෙමින් මල් පාමුල, ලස්සනට
වැඳලා දෝත, මුදුනින් තබලා සොඳට
කිවා පාලි, වඳනුත් පාඩම්, කටට

බලවා මදෙස අනුකම්පා, දෙනෙත් වලින්
කතා කරා අත්තම්මා, මෙහෙට වරෙන්
පූජා කරත් මල් ටික උඹ, හිත සතුටින්
තෙරුම් ගනින් පුත දිවියම, මේ මල තුලින්

ලස්සන මලක් ලෙස, ලෝකෙට පිපෙන්නේ
දවසක් සෙමින් හිඳ, සුවඳින් ඔප දෙන්නේ
පරවෙයි සෙමින්, දිවියත් ඒ ලෙස වැන්නේ
ඒකයි පුතුනි ගත යුතු, තේරුම වන්නේ


No comments:

Post a Comment