Thursday, February 26, 2015

චැට් පෙට්ටිය

දුව, දෝනී වරෙන් මෙහෙට
උරහිස ඇවිලිලා රිදෙන්ට
මට බෑ මේ දුක විඳින්ට
ඇවිදින් පොඩියක් බලන්ට

අරගෙන අර තෙල් කුප්පිය
හෙමිහිට පිට අතගාන්ට 
පිං සිදු වෙයි මගේ දොනියේ
මතු බුදු වී නිවන් යන්ට
................................
අනේ අම්මේ මේ අහන්න
අප්පච්චිට තෙල් ගාන්න
දැන් නම් බෑ නැගිට එන්න
චැට් පෙට්ටිය ඇත පිරෙන්න

Wednesday, February 25, 2015

සප්ත කන්‍යාවී

අතට අරන් එක හුස්මට
පෙලි පෙලි කියවන්නට
පුස්තකාලේ ඇතුලේ ඉඳන්
උනුසුම ලඟ නැලවෙන්නට
තවමත් හිත සොයන සුවය
නුඹේ ඇසින් දැක ගන්නට
අද එනවද මාත් එක්ක
අපේ ගෙදර නවතින්නට

Monday, February 23, 2015

ලඳ

බැඳි සිත නුඹ ගැන
විගහට දළු ලන
කෙලෙසක සිඳලන
දුටු ලඳ පෙර දින

බැස යන හිරු අර
බලහන් හිත බර
කිව්වට සැර කර
බැලුවේම නුඹ සර

ලාවට හිනහෙන
රෑ සඳ පරදන
සිත මගේ රවටන
නම කිව මැන, පන

Saturday, February 21, 2015

උන්

වරෙක උන් අඬ ගසා රවටාපූ හිත හොඳට
අද මිටින් මිටි කරන්, සඟවගෙන නැති ලෙසට
ඉඳිමි මම දුර බලන් ලඟ නොබල සිත රවට
හෙටත් ලොව මග බලයි රිදවන්න යලි සිතට

ඒපා මට යලි සෙනේ සැකයි පිරිමින් සැවොම
දැන උගත් පාඩමෙන් බැට කෑවේ මගේ සිතම
මුණගැසී පෙර දිනක මෙලෙස කී ඒ හිතම
දුටුවේ මම අද දිනේ පෙම් කෙලින හැටි අරුම

Friday, February 20, 2015

සිතුවිලි

සිත මගේ
දින දින
සිත සිත
නුඹේ වග...
දිව යයි
තව මත්
පෙර කල
දවසට ....
සිත අග
පොර කන
සිතුවිලි
පොදි බැඳ...
දම නේමි
විගහට
සැඩ මහ
මුහුදට...

Thursday, February 19, 2015

නුඹ, මා

දෙනෙත් වැසෙනා වරක් පසා
මැවෙන බොඳ වෙන නුඹගේ සිනහා
දිහා බල බල සෙනේ පෑවා
කියා ගොතලා නුඹට කිවා

වැඩත් වැඩි වී සිනහා කා දා
බොසත් තරඟෙට වගේ හැමදා
ඉතින් මේ ටික නුඹට  නොකියා
ඒලෙස කිවා මෙමන් සැමදා

නුඹත් නොදෙවෙනි ලෙසින් ගයනා
ගීය සැමදා හරිම අගනා
"ගන්න සුසුමන් එකක් පාසා
මතක් විය මගේ සොඳුර, නුඹ මා"

Saturday, February 14, 2015

වැලන්ටයින්

දියන් මට පෙට්ටියක් පාට දා රස කරපු
තවත් එක රතු මලක් බෙහෙත් දා පන පොවපු
ආදරේ පෙන්නන්න සාගරේ වගේ ගලපු
තවත් නැති වෙද මුකුත් උඹලා ඔය උඩ තියපු

රතු රොස මලක් ගෙන ඒ දිහා මම බලපු
හෙටම පර වෙන හැඩයි හිතත් මගේ පසු බැහැපු
පෙමත් පරවී යාද කියා හිතලා බලපු
ඒ නිසා කඩදාසි මලක් ගෙන මම ගියපු

දහඩියත් පෙරාගෙන සුවඳ විලවුන් හලපු
මා ගියා හිතවතිය වෙත පෙමින් දළු දාපු
දාහේ රස කැවිලි වල ගිය ගමන් රස බලපු
ඈ ගියා කඩදාසි මල නිසා මම දීපු


Thursday, February 12, 2015

කළු වළා

සඳ ද තරු ටික පිරිවරාගෙන
පාන පෙම් ඇඟ කිළිපොලා යන
පොලෝ තලයට වසන් කරවන
කළු වළාවට හෙණ පතයි මන

තට්ට තනියම හිත වසාගෙන
ගල් තලාවට හිස තියාගෙන
බලන් හිටියේ හිරු පලායන
තෙක්ම අඳුරෙන් විළි වසාගෙන

හිරුගේ එළියෙන් ලප වසාගෙන
තරු දනන් හද පෙම පතාගෙන
පැමිනි විගසම ඇස් ගසාගෙන
තිරය වැසුවා  කළු වළා ඝන

පැතු හෙණ, හෙණ හඬ දමාගෙන
කළු වළාවන් හද පලාගෙන
වැදුන විට ඝන හිත කඩාගෙන
බිඳු වැටුනි මගේ හිස තෙමාගෙන

Tuesday, February 10, 2015

නුඹ

ලැබෙන උණුහුමක සැනෙක නුඹ මැවෙන
ගෙවෙන තත්පරය සිහින මම දකින
දැවෙන තොල් පෙත්ත නුඹම සිහි කරන
පාට මල් ගවුම කොහෙද මට සිතෙන

පිපෙන පෙණ පිඩළි වෙරළ පිස සිඹින
ඇයත් සිනහෙමින් යනෙන රළ බිඳින
මතක හැංගිච්ච එවිට යලි ගෙනේන
නුඹත් රළ වාගේ, හදේ කොන හැපෙන

මලක මකරන්ද සේම සිත බමන
හවස මී වතුර සිතට සුව ගෙනේන
නමුත් ඒ විගස නුඹේම රුව මවන
පාට සමනල්ලූ ඇවිත් හද රඟන

Thursday, February 5, 2015

මතුවට

අරගෙන අහංකාරය 
මලකින් විලක පීදුන
කැටිකොට සෙමින් මී වද
රස තොල් තෙමෙන පදමට

වෙසෙනා ලඳුනි ගඟබඩ
ඇඳ ලැම වැසෙන ගානට
වෑහේ රසැති කවි පද
රතු ඉර බසින යාමෙට

අරගෙන නුඹේ මුදු අත
සඳ කැන් පිපෙන යාමෙක
යන්නට ඇහැකි මා හට
බය තරු එයිද පොළවට

කියපන් මිහිර සැකහැර
ගන්නට අසමි මේ ලෙස
ඇතිවෙද ඇනෙන විස කටු
සඟවා ලයෙහි මතුවට