Monday, June 29, 2015

කෝකියා

කෘතිම රස දමා හොඳ පැහෙන හොද්දට කදිම
දහඩියත් පෙරන් පොඩි කුස්සියේ ඇඳ සරම
සොච්චමට මාසයක් දුම් ගොඩේ විඳ කරුම
උඹත් බං කෝකියෙක් නොදැන උන්නට පදම

සුදු හාලේ බතට යන පරිප්පුව හොදි පිරෙන
බැදපු ලුණු රහට එන මිරිස් කරලත් රැදෙන
සීයේ බත් එක බුදින සුවහසක් දන වඳින
කෝකියා උඹයි රෑ....   සීතලේ බිම නිදන

උදෑසන දවල් රෑ වේල් තුන වස කවන
උන් තමයි මහත්තයෝ වරද කරු මම නොවෙන
වහසි බස් දොඩයි දන ඉස්පිතාලේ ලගින
උඹේ වස බතේ රස දොස්තරලා කොහේ දකින

කහ ඉර

යන්න යනවිට පාර පැන ගෙන උදෑසන කඩිමුඩියේ, මං
විසිල් ගහගෙන කාකි මහතෙක් ආවා දුවගෙන කෑ, ගහන්
කොහේද බොල තො ඔහේ යන්නේ කහ ඉරක් පෙනුනද අසන්
පැනපි මගේ ඔළු, වටම උදයම, වාහනත් නවතන් බලන්

බැලුව වටපිට නැහැනේ කහ ඉර, පනින්නට පෙර මම ඉදන්
කීවා කස කස ඔළුව වන වන, මමත් හෙමිහිට බිම බලන්
යකෝ නීතිය, පාර පැනුමට කහ ඉරෙන් උඹ දැන ගනින්
වරෙන් හනිකට දඩය දෙන්නට පාරේ මුල්ලට අඬගහන්

අනේ බුදු සර් වැඩට යන්නේ උදෑසන කලබලේ, මං
බැරිද අදවත් සමාවන්නට අදින තුරු කහ ඉර, හිටන්
තොපිත් වද දෙන හැටිත් අපහට කියා සීයක්, ඌ අරන්
මමත් නැග්ගා කොටන බසයට කහ ඉරක් පාරේ බලන්

Thursday, June 25, 2015

වනලිය

ඝන අඳුර රජ කරන මිනිස් පුළුටක් නැතී
ඈ මටම අතවනයි මෙහේ වරෙන් නුඹ සකී
පිනි බින්දූ තැවරිච්ච තණ පිඩලි මත වැටී
මීදුමේ ගැල්වෙන්න, කොළඹ ඉඳලම හතී

සොබාදම මතු කරපු වන වඳුලේ ගැටි ගැටී
යමං හිත නවතන්න සැබෑ දැහැනක වැදී
මුවම සිඹ සනසන්න මිහිරි දිය වැල් ඇතී
වරෙන් අදවත් මෙහෙට අතවනයි නොනැවතී

ඉස්සරත් ප්‍රිය කෙරුවේ හරිත පැහැ රටාවට
ඒ නිසයි හිත බැඳුනේ නිබඳ තුරු ලතාවට
ගෙන එන්න බැරි උනත් අරන් මයේ දිහාවට
හිත කියයි යමු යන්න ඇගේ ගල් ගුහාවට

Monday, June 22, 2015

කෙටිම කතාව

හෙමින් හමා අපු හුළං පොදකින් දඟ කරපු ඇගේ කෙස් රොද මගේ මුහුනට වැදි මගේ නින්ද කඩාකප්පල් කරා, එක පාරක් නම් කමක් නෑ දෙපරක් තුන් පාරක්ම. ඉවසුවා ඇති, එක්කො මේ කෙල්ලෝ කොන්ඩේ බැඳගෙන එන්න ඔනේ නැත් නම් කපලා දාන්න ඔනේ.... අදට වසර තුනකට පමන කලින් බස් රියේ සිදු වූ සිදුවීම හෙමින් මතකයට ආවේ ඇගේ උරහිස ගාවට කොට කරපු කොන්ඩය හෙමින් පිරිමදිද්දී, අපරාදේ ලස්සනට දිගට තිබ්බ කොන්ඩේ.

පාළුව

නුඹත් හිටියා නම්,
වෙළි මා ලඟ අත්ල අල්ලා
යවන්නට තිබුනා
හිතේ පාළුව සයුරේ හංගා
නුඹත් නැති හින්දා,
කෙලෙස මැඩලනු හිතේ සංකා
නුඹත් හිටියා නම්,
නොවේ මට, මේ වගේ නංගා

Thursday, June 18, 2015

කාලය

තත්පර, මිනිත්තුත්,  පැය කටු තරඟයට
වට වට දුවයි ඉවසීමක් නැති ලෙසට
උන්ගේ සද්දේ ඇසිලා මගේ හදවතට
විදිහක් හිතයි නවතනු කෙලෙසක රවට

බලහන් මිතුර දිග කැත ඔය උඹේ හැටී
තරඟෙට දුවයි හරි හරියට උඹට හතී
පැය කටු කොටයි, හෙමිහිට යන්නේ නැළවී
කිම පව් ගෙවන්නේ උඹ ඔය, හිතන් සකී

අසලා මගේ බස් හෙමිහිට ඌත් ඉතින්
රවටනු පිනිස පැය කට්ටත් වහසි බසින්
දුවපන් මචං උඹ මහතයි කියා පෙමින්
පැය කටු දුවයි දැන්, තත්පර කටුව ලෙසින්

Monday, June 15, 2015

මංගල

නිලැසිය දෙතොල් රතු කර යස හැඩකාර
මංගල ඇඳුම ඇඳ සුදුවට පින්සාර
සුන්දර පාද තබමින් නුඹ දඟකාර
යන්නට එන්න අතගෙන අද කරකාර

ඇසිපිය සෙමින් සිසිලස දී සැලෙන විට
නුඹේ උණුහුමින් සීතල යයි පලා හෙට
මංගල මුදුව හැඩකරවයි ඇඟිලි වට
මගේ හද ගැස්ම වී එනු මැන ඉතින් ගෙට



Monday, June 1, 2015

උඹට

බොරළු කැට, ලී පියන් මත වැටි නඟන හඬ
සිත පෙලයි, යලි යලිත් නුඹට නෑසුනත්, අද
හඬන මව, පියා සොහොයුරුත්, ඉකි ගසන කල
අපි හිඳිමු ගල් ගැසි උඹේ මතකයන් මැද

පෙර දවස, එකට පාසල් ගියපු වාරයද
කට්ටි පැන උඹ එක්ක ඔහේ ගිය කාලයද
සිල්බරන් කොටන් උඩ, දිය වෙච්ච දහඩියද
නැවත යලි එන්නේ නෑ, මතක නම් කෙතරම්ද

යමි යන්න හැරදමා උඹේ, උඹ නැති සිරුර
යළි එන්න මීවිතක් රැගෙන යම් මතු දවස
හීනියට සෙට් වෙලා අපේ උන් ටික එක්ක
දුක එක්ක කලතන්න සිනහා මතකෙට නතුව