පෙරදා නැගුන කිචි බිචි හඬ අද නැත්තේ
මාල ගිරා කැළ අද කොයිබද ඇත්තේ
හිතට දැනෙන පාළුව හිටගෙන අත්තේ
වරෙන් ඇවිත් වී කාපන් කම් නැත්තේ
ඇරයුම ඇසී ඇතින් උන් ගිරවෙකුට
අවා සෙමින් පියඹා පඹයගේ අතට
හිනහී ඔළුව නමලා කල ඇරයුමට
මෙලෙසින් කීවේ ලං කර පඹයගේ කනට
ඇරයුම සොදයි කරුණාවයි උඹේ හිත
එනමුදු සබඳ දැන් මේ වී පලක් නැත
පෙරදා වගේ නෑ වස විස පිරී ඇත
පොඩි උන් මැරෙයි කෑවොත් ලෙඩ හැදී නෙක
ඉස්සර අපිට වෙන් කර වී තියලා
මිනිසුන් හිටියේ මනුසත් කම වඩාලා
අද උන් උන්ම උන්ගේම වල කපාලා
උන්ටම කවයි වස විස දා අනාලා
ඔච්චර ඔහොම හිතුවේ නෑ මම දුරට
අයදිමි සමා ඇරයුම් කෙරුවට නුඹට
පෙරදා වගේ සැළකිලි දැන් නෑනේ මට
අත්තත් මගේ දිරලා වස විස සැරට
හරිම ලස්සන පැදි පෙලක් චතුර. හරි අපූරුවට හිතට දැනෙන රිද්මෙකට ලියලා තියෙනවා.
ReplyDeleteබොහොම තුතී ඔබට
Delete