Wednesday, August 29, 2018

දෙවුදත්ගේ පාපෝච්චාරණය

වසර දෙදහස් පන්සියක් වුව, තවම මගේ නම කිළුටු හින්දා
බුදුරදුන් හැර, කිසිම මිනිසෙක්, සමාවක් මට නොදුන් හින්දා
ඇසූ පලියට, කතා පෙර කල, මගේ හිත උඹ නොදත් හන්දා
කියමි මෙලෙසට, නොකී මගෙ දුක, උඹත් අහගෙන ඉන්න හින්දා

මගේ නැඟනිය දීග යන විට දැනෙන දුක හදවතින්  වින්දා
හිත කැමත්තක් නොතිබුණත් ලොකු, පවුල් පසුබිම එදත් දින්නා
කමක් නෑ උඹ, ඉඳින් සතුටෙන්, හිසත් අතගා. නළල ඉම්බා
"මස්සිනේ මැය පණ සමයි මගේ, අදින් බාරයි උඹට නංගා"

තවම මතකයි කුස දරාගෙන, මාස ගණනක් හීන මැව්වා
පුංචි පුතුගේ අතින් අල්ලන්, ඔහුත් සමගින් ගමන් යැව්වා.
රජෙක් මා පුතු, රජෙක් මා පුතු, පියා වැනිමයි නිතර කීවා
මාස නවයෙම සතුට අළුකර අළුයමම ඈ කඳුළු සැලුවා

ලෝකයා ගේ කතා නම් මට, වැඩක් නෑ, මට වැඩක් නෑ
මගේ පොඩ්ඩිගේ කඳුළු තරමට වෙන මුකුත් මට වටින් නෑ
අනාථයි ඇගේ ජීවිතේ ප්‍රිය, අඬන බිලිඳුන් නිදන් නෑ
හිතක් නැති තිරිසනෙක් උඹ මට, මස්සිනේ උඹ තියන් නෑ.....

එයයි ඇරඹුම, මගේ මෙහෙයුමෙ පළිගැනිමට දියත් වූ
ඉතුරු ටික නම් දන්නවා ඇති, ලෝකෙටම මහ පවක් වූ
එදා අසරණ මගේ හිත දැක, තිලෝගුරු මට පිහිට වූ
බැරිවෙලාත් "බුදු" නොවුන නම්, මාද  විරුවෙකි උසස් වූ

ප.ලි. සෑම කතාවකටම පැති 360(+) ක් ඇත