Thursday, March 24, 2016

තරු කතාව


කරුවලේ දොර ගාව ඉඳගෙන ගැනපු තරු, අද නැතිද මන්දා
රෑ ගසින් ගස එහෙ මෙහේ ගිය, කණාමැදිරියෝ නිදිද මන්දා
හතර වට අද විදුලි පන්දම්, ගමට දියුණුව ගෙන පලන්දා
මතක නැති රෑ ගණන් ගත උනේ, රූපවාහිණි උඹම හින්දා

තවම මතකයි පාර අද්දර පියා එනකල්, දෙනෙත් රන්දා
තරු රටා හොය හොයා නම් කර මවට පෙන්නූ... කාලේ, වින්දා
වහලේ තනියම කරුවලේ නැඟ, බැනුම් අහමින් දෑස් බන්දා
බැන්ද පෙම මම තරු කතාවට, සිහිවුනේ අද මොකද මන්දා

කුරුසේ තිබුනේ සෑම රැයකම, ගෙයට දකුණින් ගසක බන්දා
මහා වලසා හිසට මුදුනෙන් වමට බර වී, හීන බින්දා
තරු තුනේ බඳ පටිය බැඳගෙන හිටියේ ප්‍රියතම, චරිතේ හින්දා
යමි බලන්නට තවම උන් වේද, මගේ පොඩි හිත අයේ කැන්දා

Sunday, March 6, 2016

හීන

කට්ට කාගෙන කතර මැද හිඳ දුකින් පෙලනා මම ඉතින් කාතා කෙරුවා යුරෝපේ අපේ, ඉන්න නංගිට හරි සැපෙන් සීත සුලඟට මලක් වාගේ වැනි වැනී ඉන්නට සෙනෙන් කරපු පින මට හිතාගන්නට බැරි නිසා දුර වැඩි කමින් ඉතින් කොහොමද ඔහේ සැප දුක කාලෙකින් නැහැ හමුවුනේ දකින්නට හිත පෙරුම් පුරනවා කවදා ඒ විද ඒ දිනේ අපිත් කතරේ දූලි කාගෙන විහින් මැරෙනවා මගේ පනේ යාන්තම් දැන් ගෙදර තටුට්ව ගිය සතියේ නොවැ නිම උනේ
අනේ අක්කේ මමත් එහෙමයි, හරිම බිසි වැඩි මෙහේ අනේ එක වැඩක් මදි ශිෆ්ට් දෙකක වැඩ ටැක්ස් වැඩී මෙහේ හරි හෙනේ ගෙයක් අටවා ගන්න හිතුවට ඉතුරුවක් නෑ තව උනේ මමත් ආසයි ඔහේ එන්නට, ගෙයක් තැනුමට හෙට දිනේ අනේ නංගියේ හිතුවේ නෑ මම, විදින දුක උඹ ඔය වනේ හිතන් හිටියේ දුක් විදින්නේ අපි කියා, නෑ වැටහුනේ ජීවිතේ අපේ හොඳම කාලය මොටකද බං අපහට උනේ කොහේ හිටියත් රටෙන් පිට අප, සැනසුමක් නෑ හිමිවුනේ

Friday, February 26, 2016

දූ

සුදෝ සුදු මුදු හසරැළී
පුරෝ ගෙන ඈ, අර නිදී මගේ ලෝකයේ හිතවතී නුඹයි, මා දූ, කිරිකැටී දරා මා කුස, දස මසක් කරත් ලේ ගෙන කිරි ගොඩක් පොවන්නට මට එක බිඳක් වුනේ නැති එක අරුමයක් ගියත් මම අද නුඹ ලඟින් පියා ඇත නොවැටී හිතින් ලොවේ නම රන්දන ලෙසින් ලොකු වෙයන් මයේ දූ ඉතින්

Wednesday, February 10, 2016

තනිය


තබා පෙම් සුවඳක් හදේ අග නුඹ, ලොවම කළඹා වගේ පිණි බිඳුවක් ගියේ වියැකී කිමද මන්දා පුළුල් උර මඩලේ නැතිද කඳුළැල්, කැළැල් රැඳිලා මගේ හද පතුලේ ගලයි ලේ අද , තනිය දැනිලා හිරුත් නැති විලසේ කළුවරයි මගේ, ලොවම මිදිලා තවම මම අඳුරේ කුරිරු යුද්ධය මැවෙයි ඇඳිලා පිදුන දස දහසේ නෙළුම් මල් පෙති එකට බැඳිලා උනුත් නෑ පොළවේ පරව මෙලොවෙන්, අනේ මන්දා

Tuesday, February 9, 2016

වෙනස


හැදෙනවා අම්මේ අනිවා එන, අවුරුද්දේ එතකන් ඉවස,ගෙන ඉන්නකො, ඇයි යුද්දේ කියමින් මමත් ලොවටම දාගෙන, සද්දේ ඉන්නවා ලෙසට පෙර පරිදිම මේ, බැද්දේ ------ ඇත්තට හිතට වෙනසක් ඔනෑ වේ නම් අවුරුදු, මාස මොකටද, වෙන දවසක් යම් හිත දැඩි කරන්, නොදමා ඔය බොරු ලොකු කම් ඉලඟ තත්පරේ හැදියන්, පුළුවන් නම් ------- තත්පර පොඩි වැඩී වෙනසට ඉඩ-නෑනේ මගේ හිත හැදෙන්නට අවුරුද්දක් ඕනේ කිව්වට ඕවා අම්මට තේරෙන්-නෑනේ කියලා කරපු ගොන්කම් දැන් සිහිවෙන්නේ

Thursday, February 4, 2016

මමත් ආසයි

අදට අවුරුදු හතකටත් පෙර, මම අඬද්දී ගුලිවෙලා මාව නොමරා ළමා නිවසට, දුන් පිනෙන් මම ලොකු වෙලා හද හඩද්දී කවුරුන්ද නුඹ, වැදූ මා මව් සිහිවෙලා සැනසුවා මම දෙව් දුවක් ඇය, මාව පොළවට බිහිකලා
කොතෙක් ඇන්දත් මැවෙන රූපය, ඔබ නොවේ හිත කිය කියා දෑස විමසයි පාර මඟ තොට, නුඹ දකින්නට රිසි නියා සිඟිති දරුවන් අතින් අල්ලන්, අවට ඇවිදින විට එයා මගේ කියලා හිතෙන්නේ ඇයි, ඔබද ඇත්තට මගේ පියා
සාමා අමරලා අමරණියයි, පොත් ඇතුලේ ඉන්නා නිසා මවත් නැතිවට, පියත් නැතිවට, පාළුවක් නොදැනෙන නිසා මමත් ආසයි පොතක ළමයෙක්, උනා නම් මම පොඩි නිසා හැමොම ආදරේ කරයි ඒ විට, හිනාවත් ලස්සන නිසා

අපේ ගීතය

උපන් දා සිට මෙහෙම සතුටක්, අභිමානයක් නෑ හිත උනේ වෙනදා ඇහුනට වචන පමණක්, තේරුමක් නෑ වැටහුනේ හීන් දාඩිය දමා කොඳු ඇට, පේලියත් මගේ නැගිටුනේ ආදරෙයි මම ආදරෙයි මගේ ලක් මවුනි, මම ගැති උනේ
සෙල්වරාජා නමින් ඉපදුන සිංහලත්, බැරි පව් කමින් මගේ ආදර ලංකා දීපයේ කොන් උනේ, ඉපදුන තැනින් උතුරේ වෙනුවට දකුණේ වුනි නම්, මමත් උඹ වගේ පෙර පිනෙන් සිංහලෙන් ගැයු අපේ ගීතය විදිමි ජීවිතේ, එක හිතින්
.......
මෙලෙස කීවේ මගේ සොහොයුරු, යාපනෙන් දෙමළෙන් තුටින් හීන් දුකකුත් තිබුනා වාගේ, කිම නොවුනේ මේය පෙර දිනෙන් සතුටු කඳුළැලි තවම මතකයි කීව විට මෙය, ඔහු තුටින් මම විඳපු ඒ , ලාංකික බව, ඔහු විඳි අද , හදවතින්

Monday, January 25, 2016

ලේ









ලෙබල් කරා මම එක එක පාට ලේ තල් අතු පැලෙන් අරගෙන කලු පාට ලේ තම්බිගේ ගෙදර තද කොළ, සුදු පාට ලේ උඩ රට, පහත රට, නෙක නෙක ජාති ලේ
ඉපදුන විලස සේරම ලේ, පිටට ගෙන කලතා, ජාති, ආගම්, කුල, බෙද, ඝන පදමට අනා, රීෆිල් කර, ළදරු මන දුම් ගස ගසා, මුල සිට අපි, හදති හෙණ
උන්ගේ මනසේ, හයි හක්තිය නැති වෙද්දී කියනා දෙයම, හද පතුලෙන් පිලිගද්දී කැපුවත් නිල්ය, මම, කොළ, කහ දඟලද්දී රතු ලේ නැතිද, මනුසත් කම පැන යද්දී

Wednesday, January 20, 2016

කවර






සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර්, කවර අන්දා මිනිස්කම, මාකට් වෙයි නිතර ආගම් හෙමින් ඔලුවට ඉස විස වතුර නටවයි උඩින් උන්වත් දන්නෑ මිතුර ආගම හොඳයි කොයි කාටත් දැන ගන්න එනමුදු මිතුර තම නුවනින් මැන ඉන්න කිව්වට එපා මොන දේවත් පිළිගන්න ලීවේ පොතුත් මිනිසුන් බව හිත ගන්න
උන්ගේ දහම වැරදී උන් පර සත්තු එලවා දමව් නැත්නම් කරපන් කොත්තු තෙරුම් කරන්නට කවුරුද වෙර ගත්තු කරුණා වචනයක්, මෙත්තා වී පත්තු

Sunday, January 17, 2016

කහ සිවුර





සමිඳුනේ මට දෙන්න අවසර, නැමද නුඹේ පා පතන්නම් මටත් ආසයි ලොකුම පන්සලේ, බණක් කීමට හිතින් නම් ලස්සනට බිම ගඩොල් අල්ලල, වායුසමනය කොරොත් නම් පින්වතුන්ගෙන් පිරී යාවි, අහල හතටත් වඩා, ගම්
වැලි මළුව මදි හැරෙන්නටවත්, පහන් පූජා කරොත් නම් තවත් ඉඩමක් ගන්න වෙනවා, දහම මතුවට රැකේ නම් ලොකුම පන්සල, අපේ පන්සල, කවද හරි මම කරන්නම් පොතින් දැනගෙන දහම් පාඩම්, ගමට මම බණ කියන්නම්
..........
කුමට පන්සල් බදා ගෙන හිඳ, අත හරිනු බැඳි, සිතින් දැන් කහ සිවුර ඇදි තවත් ගිහියෙක්, නොවෙන් පොඩි නම, නුඹත් දැන් කෙලස දහමක් දෙසන්නේ නුඹ, එයින් ජීවත් නොවේ නම් හරය, බුදු දහමේ නසන්නේ, කහ සිවුර ඇඳි කවටයන්
ජීවිතේ දුක හිතින් දැනගෙන නිවන් දැකුමට ඕනේ නම් හිතම එක් තැන් කරන් දම් මඟ, යන්න ඕනෑ නුඹත් දැන් ජීවිතේ සැප, විදින්නට ඕනෑ කියා හිත, කියයි නම් කහ සිවුර හැර, ගිහින් ජීවත්, වෙන්න අවසර දෙමිය, මන්


Thursday, January 14, 2016

දියුණුව













උඬගුව දමා පාරේ යන, බල්ලන්ට
කොඳු ඇට කෙලින් කර පලයන්, හෙට දිනට
පන්දම්, පච, කෙරුම්, මොකටද නම අගට
ඒ විට ඒවි, දියුණුව පස්සෙන් බරට

දුටු විට අනිත් උන්, නගිනා විට උඩට
උඹේ පිට දියන්, දූවිලි යයි ගැසු කලට
අත හිත නුඹේ දුන් විට, හිත ගෙන පෙරට
ප්‍රතිපල ලැබේයි  නිව්ටන් පෙර, කී ලෙසට

Saturday, January 2, 2016

පෙර භවය

යන විට උදෑසන, දවසක් පාර දිගේ ඇදෙනා සර්පයකු, දුටුවා නයකු වගේ අරගෙන ගලක් ගසනට යන, විටදි අගේ සිතුවිලි ගඟක් ගැලුවා හිත, ඇතුලෙ මගේ
දහමට අනුව මතු භවයක් තිබේ නම්, මේ පෙර භවයේ, මගේ පවුලේ කෙනෙක් නම්, සිතුවිලි දඟ කරයි හිතමින්, දෙයක් යම් යන්නට යමිය ගල බිම දා, ඉතින් මම්
ආවිට ගෙදර බඩගිනි වී, ඉතින් මම දුටුවා මසුත් තිබුනා පෙර, රහ කෑම සිතුවිලි යලිත් අරගල කර, පෙර සේම නොමරමි, නොකමි මින් මතු මම මගේ ලේම.

Wednesday, November 25, 2015

දැනුම

සමාවනු මැන, කරමි කරදර, සමිඳුනේ... උදයම මෙමා.. හිතට වද දෙන, දරුණු පැනයක්, අසමි නුඹගෙන්.. රහසිනා.. පිනට හිත ඇති, අයෙක් වෙමි මම. පෝයටත්, පංසලෙ තමා.. කොට ඇඳුම් ඇඳි, ලඳුන් දුටු කල, හිත මගේ අසරන වෙනා..
මත් වතුර, දුම් වැටිය ලඟ නෑ.. මල් වලට, ලොබ නෑ මෙමා.. නරක පත්තර, කිසි කලෙක වත්, කියවලා.. නම්, නෑ තමා.. එහෙත් හිමියනි, තරුණ පෙකනිය, මතු කරයි.. රාගය හමා.. දුටුව විටකදි, දනහිසෙන් උඩ, බලන්නේ.. හැරි හැරි. කමා...
උදේ හවහා.. දුමින් සරුවත්, මත් වතුර බොන, පිට රටුන් කිසිම ගානක්, නැතිව ඉන්නවා. බිකිනි අදිනවා, එහේ එවුන් තවම තේරුම්, යන්නේ නැත්තේ, කොහෙද වැරදුනේ, මට සියුම් දෙසන් හිමියනි, ඔබේ මුවගින්. මුදා ගන්නට, හිතෙ කෙරුම් --------------------------------------------------------- නුඹේ වරදක් නොවේ පිංවත, රටේ.. වරදක්, ඛේදයක් සතුන් වෙමි අපි, මනස තිබුනට, උසස් වේසෙන්.. බාගයක් හිතේ කුකුසක්, ඇතිය කවුරුද? වෙනත් ලිංගික, ජාතියක් කතා බහ කල, යුතුයි.. ඔය ගැන, එවිට හිතෙ, නෑ... වාදයක්
ගණන්, විද්‍යා..., චිත්‍ර කෙරුවට, මදී... හොදටම දේශයක් දිය යුතුයි හරි දැනුම, ලිංගික. බය නොවෙන්, එය වචනයක් පිට රටුන් පොඩි කාලෙ ඉඳලම, දන්නවා හිත නැහැ බයක් ඇඳුම නොවෙ පුත, හිතයි වැදගත්, වහගනිමු දැනුමෙන්, සියක්



Monday, November 16, 2015

හයි වේ.. බස්, ස්ටෑන්ඩ්

කමිස, කොට්, ටයි ඇඳගෙන උගත් මහත්වරු ගැවසෙන උදැසනම ෆුල් බිසි වන හයි වේ.. බස්, ස්ටෑන්ඩ් ස්කර්ට්, බ්ලව්ස්, හයි හීල්ස් ඝන සාරි, ඔසරි, රන් අභරණ මේ ඔක්කොම වැදගත් දන බල සිටිති දැන් එකපාරට බස් එක එන ස්මාර්ට් ගතිය, බල්ලට යන ගෑනූ, පිරිමි, අර පොරකන බලන් අරුම, රන් ඇඳුමට වැහුනට ගතිගුණ දැන් සේරම හෙළුවෙන් යන අපේ රටක් දියුණු වෙන්නේ ඉතින් කොහොම බන්


Sunday, November 15, 2015

පඹයා

පෙරදා නැගුන කිචි බිචි හඬ අද නැත්තේ මාල ගිරා කැළ අද කොයිබද ඇත්තේ හිතට දැනෙන පාළුව හිටගෙන අත්තේ වරෙන් ඇවිත් වී කාපන් කම් නැත්තේ ඇරයුම ඇසී ඇතින් උන් ගිරවෙකුට අවා සෙමින් පියඹා පඹයගේ අතට හිනහී ඔළුව නමලා කල ඇරයුමට මෙලෙසින් කීවේ ලං කර පඹයගේ කනට ඇරයුම සොදයි කරුණාවයි උඹේ හිත එනමුදු සබඳ දැන් මේ වී පලක් නැත පෙරදා වගේ නෑ වස විස පිරී ඇත පොඩි උන් මැරෙයි කෑවොත් ලෙඩ හැදී නෙක ඉස්සර අපිට වෙන් කර වී තියලා මිනිසුන් හිටියේ මනුසත් කම වඩාලා අද උන් උන්ම උන්ගේම වල කපාලා උන්ටම කවයි වස විස දා අනාලා ඔච්චර ඔහොම හිතුවේ නෑ මම දුරට අයදිමි සමා ඇරයුම් කෙරුවට නුඹට පෙරදා වගේ සැළකිලි දැන් නෑනේ මට අත්තත් මගේ දිරලා වස විස සැරට


Wednesday, November 11, 2015

ගසක් කතා කරයි

කප කපා වියරුවෙන්, හිතක් නැති ලෙස බරට මර මරා පොඩි එවුන්, සීරුවෙන් පිලිවෙළට කිමද ජීවත් උනේ, සිතෙයි මොහොතක් සිතට බලන්නට මෙහෙව් දේ, නැහැ පලක් තොපි ලොවට මැන බලා ජීවිතය, පටියකින් බැඳ බඳට අරටුවට මිල කියයි, අරටුවක් නැති ලෙසට කුමක් නම් කරන්නද, කෑ ගසමි තොපේ පවට ඇසෙන්නේ නැති උනත්, දැනෙයි මතුවට යසට පරව යයි මල් ඔහේ, පැන් බිඳක් නැහැ මුලට අලි ඇතුන් පව් ගෙවයි, ගම් වැදී වෙඩි හඬට මුතුන් මුත්තන් උඹේ, පසුතැවෙයි නෑකමට වඳ වෙලා පල ගහේ, සිසිල උදුරපු පවට

Wednesday, November 4, 2015

මලක්

මමත් වෙමි එක්, මලක්
උඹේ පව් කම් වලට මැදි උන
හිතන් හිටියට, ලොවක්
නොවෙයි පින්සිදු මාව පිදු දින

නොතේරුන කල බනක්
බුදුරජුන් දෙසු අරුථ නොපෙනුන
අනේ නොමවෙයි, පිනක්
මාව පිදුවට වතුර ඉසමින


Sunday, November 1, 2015

යම රජ

බැහැ මට කරන්නට රජ කම මීට වඩා කිවේ යමරජුය, සද්දෙන් නැගිට මෙදා බැලු බැලු හැම තැනම නිරයේ වීදි පුරා මිනිසුන් ගනී ආතල් සුර ලොවට වඩා යම පුරුෂයන් රැවටී බොරු බහට අගේ එන මැති ඇමති ලඟ දනිහෙන් වැටි සබේ කාටත් හොරෙන් කර කතිකා හතර වටේ රජකම සේල් වෙන පාටයි විදී දිගේ ඉස්සර තිබ්බ කටු ගහ උං කපාලා ලෝදිය හැලිය උණු කර වටේ, බෙදාලා යක් සේනාව, මෙකප් ගුලි උලාලා මම යමි යන්න මුලු නිරයම වසාලා....

Tuesday, October 27, 2015

කරුමෙ

ඉදුනු ඉසකෙහි අතර නැළවෙන - ඔය අතේ මම එල්ලීලා තවම මතකයි අපේ කුඹුරේ - දුව පැනපු හැටි හිනහිලා නුඹේ දහඩිය වලින් පල ලැබු - ගොයම් කරලට ණය වෙලා යන්න තැනු හැටි හොයන් සරසවි - වසර ගණනක් කල් බලා
අපේ කරුමෙට පාර පිට පැන - කුඹුරේ පැල උන් කුඩු කරා මගේ මව් වුනු පියා අදටත් - ගෙයි සාලේ එක් තැන් වෙලා දැම්ම නඩුවත් උඩින් පැරදුනේ - ඩිෆෙන්ඩර් රථ ලොකු නිසා මහන මැෂිමේ රූන් සද්දෙට - දුකත් යයි උඩු ගං බලා

Monday, October 26, 2015

රජ

ගෙන්ද ගම් පොලවේ රජ උන හිතින් රේස් කා(ර්) එළවන අව්ව වැස්ස යට නොනැමෙන එහෙව් එකෙක් මං විරාමයට නැහැ මුල් තැන බජාර් එකේ උන් වටවෙන ටර්න් එකට කැරම් ගහන එල කොල්ලෙක්, යං(ග්) ට්‍රැෆික් වලට වංගු දාන ඉඳ හිට පොඩි දඩ කොල කන බොහෝ දුරට පිහිටට එන සීය කොලේ රන් ගෙදර ගැණී මාවම කන බඩු මිල හයි, ස්පීඩ්ම යන අපි පොඩ්ඩක් සෙකන්ඩ් වෙන්නේ ඔන්න ඔතන බං

Thursday, October 8, 2015

පිං කම්

ලබා මනු,සත් කම් ගොඩක්, ගහගෙන වත්කම් එකෙක් අනිකට, පෙත්සම් හැබැයි දැක්කොත්, කරයි පිංකම් --------------------------------- මේ පාර මම දානේ, බෙර ගහන් දොර ගානේ, යන්නේ කිම, කිය නොනේ, පිනද, කතිරේද, ඕනේ....
ගෙනත් ෆයිව්, ස්ටාර් හෝටලෙට, පින වික්කා කහ සිවුරු ගැත්තා : "මෙන්න පිං කම්, නියම අක්කා..........."

Wednesday, October 7, 2015

දේව කැමැත්ත

දවසක ඇවිත් ඇත්තට මම උඹේ, රටට
කරනවා කතා, රට බත් කන, හරකුන්ට
වේලක් නොකන මිනිසුන් ඉන්නේ, එමට
පලතුරු එපා. කියහන් පින් ඇති, මෙමට

ඇවිදින් සැවොම, මගේ නම මුල් පිරු, ගමට
අරගෙන හාල්, පොල්, පලතුරු, හිත හොඳට
මගේ නම කියා වැජබෙන කපු, මහතුන්ට
නොම දෙන් පඬුරු, මම ගෙවනවා, පඩි එමට

අරගෙන නැවත පේ කරවපු, බඩු අතට
ගෙනහින් ගමට දීපන් පොඩි, පැටවුන්ට
කන්නට නැතත් ගේ අහලක, පොල් බතට
එනවා මෙතන පව් දෙන්නට, වෙන උන්ට

කීවා මෙලස හීනෙන් ඇවිදින්, මෙමට
කියනා ලෙසට මා දන්නා, සඟයන්ට
පලතුරු නොවේ ඕනෑ පින්, දෙවියන්ට
නැති බැරි අයට අත දීහන්, හරියන්ට






Friday, October 2, 2015

පැය

නුඹත් නැතිවම ගෙවපු පැය මම, හිතත් එක්කම තනි වෙලා එකින් එක ගෙන හිතුනු සිතුවිලි, කවි කරන්නෙමි පෙරලලා හමන මද නළ ගෙනෙන සිසිලස ගත ගැටෙද්දී විසිරිලා නුඹේ උණුහුම හෙමින් අයදී පෙර ගෙවුනු දින සිහිවෙලා

Monday, September 21, 2015

යැපෙන

රතු තෙපුල් මත යැපෙන
හිතක් ඇත, කිතිකැවුන
ඇවිත් සිප මගේ වුවන
නැති කරන් කිති, හැඟෙන

පා තබා නිල්, ගඟන
තරු කඩා වගේ, හැලෙන
සඳ නුඹයි හද, පතන
මම කියමි හිරු, නොවෙන

සිසිල් සිසිලස හමන,
විටක උණුසුම යදින
ගතක් ඇත ගල් ගැහුන,
තනිව වැතිරී යහන

Monday, September 7, 2015

බිනර මහ

ලා නිල් වන් බිනර මලුත්,
මා දැක්කම හිනහිලා...
ඉඟි කරවයි, හිත සනසයි,
බිනර මහත් එළබිලා....

හිත යට දළුලන සනහස,
තියන්න බැහැ සඟවලා...
සඳ ඇති රැය, සිහි කරවයි,
එකල පෑව පෙම් සිනා...

රෑ අහසේ.. දුර ඈතින්,
විල් දිය මත, රුව හොවා,
මසකු හොරෙන් පෙම් බඳිනා...
තරුවක් ලෙස, නුඹ වෙලා....

නොහැකි බැවින් දිය යට හිඳ,
ගන්නට තුරුලට සදා...
වරල් කඩා, අත්තටු බැඳ,
මම එන්නේමි පියඹලා.....

Wednesday, August 26, 2015

නින්ද හා සැප නින්ද

ඩබල් ලේයර් මෙට්ට, යටි හිතින් මව මවා
පුළුන් දැමු සැප කොට්ට, වට කරන් ගුලි වෙලා
නිදන කල නුඹ හොඳට, සැප නින්ද වඩ වඩා
උඩ ගෙදර මහමුදලි, කැරකේවි ඇඳ වටා

ගිය මාසේ ගෙනා හයි,බ්‍රිඩ් මෙට්ටේ ඇල විලා
නින්ද එන තුරා ලේ, රතු වෙච්ච ඇස් වසා
කුරුළු තටු කඩා හැදු, සුමුදු කොට්ටේට වෙලා
තවම සිටි, නිදි නැතිව, නින්ද එන් නැති නියා

ගේ පහල මහ කන්දේ වීර, පළු ගස් නසා
කුට්ටි කර සල්ලි මැව්, මහමුදලි මේ තමා
නින්ද ආවත් මගදි, උඩ ගිහින් නැගිටිනා
පව් කරපු ඌ වගේද, මගේ පුතු පින්වතා


Thursday, August 13, 2015

පින

දැක පොර බදන ගස් ගෙම්බක්, ගැරඩියෙකූ
දැකලා සිතී බේරනු පින් පතා, මතූ
ගෙන තඩි පොල්ල කරලා ලාවට, මට්ටූ
බෙරා හැරියේ මා ගෙම්බී පන, ලොවක් පැතූ

යන්නට හැරුන විට මා ලඟ ගෙදරකට
ඇසුනා ගැඹුරු හඬ ලාවට මගේ කනට
"සතියක් නොකා බඩගින්නේ උන්නු මට
පර මනු සතා කෙලියා නොවැ, බඩ දිගට"

හෙමිහිට ඇදී ගෙම්බි පවුලක් දිහාවට
තිබු පන දමා පැන්නේ මම රටාවට
දිව් කල අනිත් සේරම වැලි තලාවට
මහලුම එකා අහුවුනි මට, කනාවට

තව නෑ වීරියක් මට ඇදි ඇදී යන්න
බේරුව ගෙම්බා යයි පර ලොව හෙට ඔන්න
උඹ දැන් ඉතින් පලයන් ඔය පින, ඇන්න
රෑ බත බලා ගෙදරට රහ මස් කන්න

Tuesday, August 11, 2015

සසර

සමඟ සංසාරයේ... නුඹත් එන්නැති පිනුත් වලලා
කිමද, පව්කාරියේ... තවම ජීවිත ගඟේ ගිලිලා
ඇතිද සිත් පාමුලේ.. මොහ, අහිරික ,ලොභ පිරිලා
තවම තනිකඩ නුඹේ... නොහික්මුණ සිත පවෙහි බැඳිලා

......................................................................

කෙලෙස වුනිදෝ එසේ... තවම නොතරේ, කමා කරලා
පවසන්න ජීවිතේ... අරුත කිමදැයි, සතිය වඩලා
මට ලැබුන ආදරේ... සොයන මා මේ සසර වසලා
තවම නෑ සමිඳුනේ... නිවන සැපතක් කියා හිතිලා

......................................................................

වැටහේය දුක නුඹේ.... පිඩුසිඟා වැඩි මමද බැඳිලා
සසර සතුටට මේසේ... නැහැ පෙනෙන්නේ දුකින් පිරිලා
දුන්න මේ දානයේ... පිනෙන් පතනේමි සෝක මිදිලා
නිවන් යන්නට නොවේ.... පතන පෙම නුඹෙ, වන්න කියලා

Friday, August 7, 2015

මැණීකේ

නැළවෙන නිතඹ දුටූවත්, හදවත සාරයි
හම කළු උනත්, මැණීකේ උඹ, හැඩකාරයි
කාටත් පොදුයි, කරුණාබර නෙත්, පායයි
උඹ මහමෙරක්, දුටුවම හරි, සිරියාවයි

නැහැ දබරයක්, යන එන විට, පාර තොටේ
මට නැගනියක්, වාගේ පූරුවේ , හැටේ
යදමින් බැන්ද දා හිරකර, දමා , ගැටේ
රතු උන ඇසින් බැලුවේ, පිට ඉදන්, වැටේ

බර කොට ඇද්ද අප්පොච්චා, හිටපු දොහේ
ආරච්චිලත්, හිටියේ කට වහන්, වහේ
උන්දෑ ගියෙන් සුරලොව, දා උඹව, මෙහේ
කොලු මම කුමක් කරනුද, අසරණයි, රැහේ

Thursday, August 6, 2015

The interview

මේ දවස් වල දකින්නම හම්බෙන්නේ දේශපාලනය, ඒ හින්දද මන්ද රෑ දැක්කා නියම හීනයක්. ඒකේ මම දේශපාලන විචාරකයෙක්, ටීවී ඉන්ටවිව් එකක් මාත් එක්ක. සල්ලි ගෙවල ගත්ත එකක් නෙවේ, බලෙන් මට එන්න කියලා තිබ්බ එකක්, මතක හැටියට මෙහෙමයි උනේ...

ටීවී අක්කා : ආයුබොවන්, අද අපත් සමග එකතු වන්නේ ප්‍රසිද්ද දේශපාලන විචාරක ගයන්ත මහතා, ඉතින් මහතානෙනි, ඔබට අපේ රටේ දේශපාලනය පිලිබඳ තියෙන්නේ මොනවගේ අදහසක්ද?

මම : ආයුබොවන්, තියෙන්නේ නම් කිසිම වැදගැම්මට නැති දේශපාලනයක්. තත්වය එහෙම් පිටින්ම වෙනස් කර යුතුයි. දැන් බලන්න ඉන්ජිනේරු මහත්තයෙක්ට පුළුවන්ද ගිහින් ලෙඩ හොද කරන්න, බෑ. අපේ රටේ අනිත් ඔනෑම තැනක සේවය කරන්න යද්දි අදාල සුදුසුකම් බලනවා, ඒත් රටේ වැදගත්ම අයතනයේ සේවය කරන්න ඔය මුකුත් ඔනේ නෑ. මේ පිලිවෙත වෙනස් විය යුතුයි. යමක් කරන්න නම් ඒ පිළිබඳ දැනුමක් තිබිය යුතුයි, දේශපාලනය කියන්නේ විෂයක්, ඒ පිලිබඳ දැනුමක් නැතිව එහි නියෙලෙන්න බෑ. ඒම නිසා මේයට ඉදිරිපත් වෙන්නත් අඩුමගානේ දේශපාලන උපාධියක් තියෙන අයට අයදුම් කරන්න කියලා, වැඩිම සුදුසු කම් තියෙන අයට නාමයොජනා ලබාදිය යුතුයි. ඒතනින් නොනැවතී පත්වීමක් ලැබුව පසු ඒයට අදාල පුහුනුවීම් ලබාදී එයින් සමත් වෙනවා නම් පමනක් ඒ අංශය පාලනය කිරීමට ඉඩහැරිය යුතුයි. නැතිනම් වෙන්නේ ඒ ඒ අංශ කඩාවැටීමකට ලක් වීමයි.

ටීවී අක්කා : දැන් ඔබතුමා ඔය යොජනා කරන ක්‍රමය දැන් ක්‍රියාත්මක කරන්න බැරිද?

මම : බැරි නෑ, කරන්න තරම් කවුරුත් බලයට පත් වේලා නෑ. මොකද අපේ රටේ දේශපාලකයෝ එකිනෙකා මත යැපෙන පිරිසක්. අරයගේ හොර වැඩ මෙයා දන්නවා, මේයගේ ඒවා අනිත් අය දන්නවා. ඒ නිසා පිරිසුදු දේශපාලන චරිතයක් සහ එයට ආධාර කරන්න පුළුවන් පක්ෂයක් බලයට අවා නම් බැරි කමක් නෑ. ඕක පටන් ගන්න ගියාම දැන් ඉන්න අය සැහෙන ප්‍රමානයක් අයින් කරන්න වෙනවා, ඉතින් එහෙම අයින් වෙන්න කැමති අය මේකේ නෑනේ. ඉතින් ඔය නීතිය ක්‍රියාත්මක කරොත් අයින් කරන අය කට වහගෙන ඉන්න එකක් නෑ. ඔය බිය හින්දම කාටවත් තාම කෙලින් ඇවිත් ඔය වැඩේ කරන්න පුළුවන් වෙලා නෑ. මොකද හැමෝම තමන් ගැන හිතන හින්දා, රට ගැන හිතන කවුරුහරි තමන්ට මොනා උනත් හරි තිරණේ දැන් වත් ගන්නවා කියල හිතලා ඔය වගේ තීරණයක් ගන්න පුළුවන් නම් රටේ අනාගතයට හොදයි.

ටීවී අක්කා : පැහැදිලියි. ඔබතුමා හිතන්නේ මෙවර ජනතාව කාටද ඡන්දය දිය යුත්තේ..?

මම : ඒක තම තමන්ගේ පුද්ගලික කැමත්ත, අපේ රටේ ජනතාවට වේලා තියෙන්නේ, එක්කෝ පක්ෂයක් ඔළුවේ තියාගෙන ඉන්නවා, නැත්නම් පුද්ගලයෙක් පස්සේ යනවා. හිතලා බලන්න කීයෙන් කීදෙනෙක් ප්‍රතිපත්ති ප්‍රකාෂන දිහා බලලා තීරණයක් අරන් තියෙනවද කියලා. රැල්ලට යන දේශපාලනයක් අපේ රටේ තියෙන්නේ, ගෙදර කට්ටිය මොන පාටද අපිත් ඒ පාට, ඔය සංකල්පය වෙනස් විය යුතුමයි, මේක දේශපාලකයාට, රජයට කරන්න පුළුවන් දෙයක් නෙවේ. මේ වෙනස් වීම පවුලෙන්ම ආරම්බ කල යුතුයි. මට මතකයි පොඩි කාලේ ඡන්දයක් ඒද්දි මම අහනවා තාත්තා කාටද ඡන්දේ දේන්නේ, අම්මා කාටද ඡන්දේ දේන්නේ කියලා. මට හම්බෙන උත්තරේ තමයි. ඒක තම තමන්ගේ පුද්ගලික කැමත්ත, හොද පුද්ගලයෙක් පක්ෂයක් බලලා අම්මා ඒයාගේ ඡන්දය දානව මම මගේ ඡන්දය දානවා. පුතත් ලොකු උනාම එදාට ගැලපෙන විදියට ඡන්දය දාන්න කියල.
ඔය ටික හැම පවුලකම ලමයින්ට පොඩි කාලේ ඉදලම පුරුදු කරානම් අපිට හොද සමාජයක් ගොඩ නගන්න පුලුවන්.
ඒත් දැන් තියෙන්නේ පුද්ගලයෙක්, පක්ෂයක් වටා ගොනු වෙච්ච, ප්‍රතිපත්ති ප්‍රකාශන බලන්නේ වත් නැති සමාජයක්. මේ විදිය වෙනස් විය යුතුයි, මිනිස්සු තෙරුම් ගන්න ඔනේ , චන්දේ ඉල්ලනේ මිනිස්සූ, මිනිස්සූ කියන්නේ දවසින් දවස වෙනස් වෙන ජාතියක්, පක්ෂ හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගෙන් කියලා. ඒ නිසා කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන සංකල්ප වලින් මිදිලා, අපේ රට, මේකට ඔනේ උගත්, බුද්දිමත් රටට වැඩක් කරන්න පුළුවන් ජාතියේ මිනිස්සු පත් කර ගැනීම කියලා ජනතාව හිතට ගන්න ඔනේ.

ටීවී අක්කා : අද තියෙන ප්‍රචාරක විදි ගැන මොකක්ද ඔබතුමාගේ අදහස?

මම : ඇත්තටම අප්පිරියයි, පාරේ බැහැල යන්න දුකයි පාරවල් කාලා, ලක්ෂ ගනන් වියදම් කරල පොස්ටර් ගහල නගරයම කාලා. දැන් විසාල විකාශන තිර හිටන් පාරේ දෙපැත්තේ තියෙනවා. මේවා දැක්කම දුකයි ඇත්තටම. කියන්න තියෙනේ අපරාදේ ඔවට වියදම් කරන බිස්නස්කාරයින්ගේ සල්ලී, තමන්ගේ බිස්නස් එකට යට කරානම් කොච්චර ප්‍රයොජනද, මේවයින් පෙන්නේ අපේ රටේ දේශපාලනය කරන අයගේ මනසේ තත්වය තමයි. පිටරටක මේවන් පරිසර දූෂණයක් සහිත මැතිවරණ දකින්න හම්බෙන්නේ නෑ. මොවුන් විනාස කරන්නේ රටේ අනාගතය. ඉතින් එවන් මිනිසුන්ට රටක් ගැන හැඟිමක් නෑ, චන්දේට වියදම් කරපු සල්ලී හම්බ කරගන්නේ කොහොමද කියල තමා හිතේ තියෙන්නේ.

ටීවී අක්කා : ඔබතුමා මේ පාර මොන පක්ෂෙටද ඡන්දය පවිච්චි කරන්නේ?

මම : ඒ ගැන තීරණයක් ගන්න කල් තියෙනවා, ඉදිරි දින වල්දී පක්ෂ අපේක්ෂකයන් ගේ හැසිරිම, ඔවුන්ගේ විවාද බලල, උගත් බුද්ධිමත් කෙනෙක්ට ඡන්දය දෙනවා. තව කල් තියෙනවා ඔය තීරණය ගන්න, මොකද මිනිස්සු කියන්නේ වෙනස් වෙන ජාතියක්, දේශපාලනය කරන අය ඊට ඉක්මනින් වෙනස් වෙන්වා, ඉතින් හොද අදහස් තියෙන, හිනා යන පොරොන්දු දෙන්නේ නැති කෙනෙක්ට ඡන්දය දෙනවා. ඒලෙසම කරලා, අපේ රට ගැන හිතල තීරණයක් ගන්න කියලා මම බලන් ඉන්න අයගෙනුත් ඉල්ලනවා, නැතිව ඒයාලා ඉල්ලුව පලියට දෙන්න එපා.


ටීවී අක්කා : දැනට රටේ බොහොමයක් දියුනු කිරිම් ආරම්බ කරන්නේ ණයට අරගෙන, ඒ ගැන මොකක්ද ඔබතුමා දරන අදහස?

මම : ණය ගැනීම පුළුවන් තරම් අවම කර ගත යුතුයි, පුළුවන් තරම් අපේ රටේන්ම මුදල් උපායා ගැනිම කල යුතුයි. ඒත් සමහර අවස්ථා තියෙනව අනිවාර්යෙන්ම ණය ගත යුතු, ඒ වෙලාවට, නිසි පරිදි විශ්ලෙෂනයක යේදිලා, මේ ගන්න ණයෙන් ඉදිරියේදි ඒවා යොදවල එම මුදල ආපසු උපයාගත හැකි නම් පමනක් ණය ගත යුතුයි, එසේ නොවන වයාපෘති කල් දැමිය යුතුයි. නැති නම් වෙන්නේ රටම ණය බරින් පොඩ්ඩ පොඩ්ඩ හිර වෙන එක. මොකද ණය දෙන්නේ අපිට ආදරේට නෙවේනේ, ඊට වඩා වැඩි මුදලක් ලබා ගැනිමට හෝ ගෙවිමට නොහැකි උනොත් ඒ ඒ උකසට තිබ්බද දේ ණය ලබාදෙන අයට අයිති වෙන හින්දයි. ණය ගද්දි මේවා ගැන හිතන්න ඔනේ, නැතිව අපි ගත්තට ජනතාවනේ ගෙවන්නේ කියල හිතලා ගන්න නරකයි.

ටීවී අක්කා : ඉතාම සතුටුයි ඔබ වැනි විද්වතෙක් අපිත් සමග අදහස් බෙදාගන්න ඔබගේ වටිනා කලය යෙදෙවට. ඔබට සුබ රාත්‍රියක්.

මම : සුබ රාත්‍රියක්.

ඔච්චරයි, අවුලකුත් නෑනේ හීනෙන් හරි දේශපාලන විචාරකයෙක් වෙච්ච එක.