Sunday, January 12, 2014

නුඹේ නෙතූ තුල

හමා එන මඳ සුළඟ අබියස
දඟකරන කෙහෙරැල්ල සිත සිඹ
විඩාපත් බව නිමන මොහොතක
බලා ඉන්නම් ගලන ගඟ දෙස

වැටෙන දා බිඳු මිලින කරමින
තුරුල් වැසි පොද සමඟ නැහැවෙන
එවන් සතුටක් කොහිද ලොව වෙන
එලෙස වෙයි නුඹේ සුවඳ මට දෙන

සැඳැ අඳුරක ඈත ක්ෂිතිජය
දැවෙන හිරු කිමිදෙනා විලසට
හැර දමන්නම් සියළු මතකය
ගිලෙන මොහොතක, නුඹේ නෙතූ තුල

Thursday, December 12, 2013

හඬ පොඩක් අහගන්ට

කිම නොලැබුනේ අත්තටු, මට ඉගිලෙන්ට
රිසි සැම විටක ඇය හමුවට පියඹන්ට
කළ පව කිමද තනියම හද විඳවන්ට
අත්තටු බිඳපු ලෙස මේලෙස හැසිරෙන්ට

ඈ නෙත් දුරයි, එනමුදු රිසි දැක ගන්ට
දුරකින් ඉදන් හරි ආසයි නරඹන්ට
හිනෙන් උනත් කම් නෑ මට කොඳුරන්ට
ආසයි නුඹේ හඬ පොඩක් අහගන්ට

Wednesday, December 11, 2013

සිහින කුළුගන්වන

හඟවන ... සිත, හඟවන...
රුසිරූ පෙම මට දෙන..
නවනින.... සිත,  නවතින ..
වසනු නුඹ කොයිබද...

සනසන ... සිත, සනසන...
මියුරූ නාදය මන..
පවසනු.... සිත, පවසනූ..... මට,
කොයිද ඈ තුන් යම..

මවන හසරැල්, නෙතඟ නිළුපුල්
සිහින් බඳ නළවන...
සිසිලසයි නුඹ, සඳවතිය දෙන
සියුම් රැස් පරදන .....

පසවනූ... සිත, පසවනූ.. මැන,
සොයා මුළු සිහිනෙම...
කොයිද ඈ අද,
හෙටත් ඒවිද,
සිහින කුළුගන්වන

Monday, November 25, 2013

ටිකිරි ලියා

සඳළුතලේ නුඹ රුව රඳවා
මා ඇස පිනනා, නුඹ ටිකිරි ලියා

ඔමරි ලතා බොරු පාන සිනා
එපා ඔන්න මට ඇසක් වසා

සුළඟ වගේ ගත ලඟට වෙලා
ඉන්න බැරිද දහඩිය නිවනා

කියා දෙන්න නුඹ ගෙතූ කතා
පෙර පරිදී, නෙක සිහින මවා

වට පුළුලුකුලයි නැළවෙන නිතඹයි
සිහිවෙන තරමට සිත පුබුදයි
නුඹ සිරියාවයි, මගේ ටිකිරි ලියයි
දම් හැන්දැවක, මට බහ දෙනවැයි ?

මගේ සිත.... මට දෙන්න...

අවසරයි... මට යන්න
ඔය හදෙන්... ගැලවෙන්න
ආදරෙන්... දිවයන්න
අවසරයි... මට යන්න

එදා මෙදා නුඹත් එක්ක ...
කියූ කතා....
මතක් වෙලා සිතත් ඩිංගක්..
මිලින වෙලා....
රනින් බැන්ද බාලේ පෙම ...
පළුදු වෙලා...
මගේ සිතත්, වෙනත් ළඳකට....
ගොදුරු වෙලා...

අවසරයි... මට යන්න
ඔය හදෙන්... ගැලවෙන්න
ආදරෙන්... පැනයන්න
අවසරයි... මට යන්න

වන පෙත අද්දර....  කුඹුර පුරා..
දිව ගිය සෙනහස.... මකා දමා...
යන එන මං පෙත....  සුවඳ හමා..
විසිරුනු මඳ නළ.... නැතිව ගියා ..

මගේ සිත....
මට දෙන්න..
ආලය... මරවන්න...
හෙට මා... නොදකින්න..
මගේ පෙම... වෙත, මට යන්න..
අනේ මගේ.., සිත.... මට දෙන්න .....


අවසරයි... මට යන්න ....

Sunday, November 24, 2013

අවසරයි මට යන්න

විඩාපත් දෙනූවනම නිමා සනසා ලන්න
වැට රොස මලක් මෙන් නුඹේ සිනා මට දෙන්න
කළු වලා බිඳ දමා ලොවම මගේ සරසන්න
නුඹ එපා සඳ කුමරි ලොවට බිය වී ඉන්න

යනේන මඟ සිහින් නළ අත මවෙත පමූණන්න
නෙළුම් විල හංස කැල මෙන් කිරෙන් ජය ගන්න
වන පෙතෙක වසන මුව ලෙසින් කන් යොමවන්න
කුරිරු ලොකයකි අද, එපා නුඹ රැවටෙන්න

ඉතින් කාලය නිමයි අවසරයි මට යන්න
නුඹයි මගේ ජීවයම හිතට මේය අරගන්න
මම නැතත් මගේ මතක හා ඔවදනුත් ඔන්න
මගේ චූටි දූ කුමරි හෙට ලොවම වැජබෙන්න

Friday, October 25, 2013

බොඩිම

කන්නේ රෑ බතයි එක හොද්දට උයපූ
බොන්නේ බොර දිය යි රජයෙන් සුදු කරපූ
එන්නේ රෑ වෙලයි උදයම අපි ගියපූ
අම්මේ දුක් බරයි බොඩිමේ අපි ඉඳපූ

එක කුස උපන් සහචරයෝ නොවුනාට
මුන් මගේ පන සමයි සැම විට බැන්නාට
නෙක නෙක වලි ගොඩයි මුන් ටික උන්දාට
පාළුව නැති සැඩයි ලොව දුක් වින්දාට

නැහැ නොව නින්ද යන්නේ දැන් ඇඳක මට
කොට්ටෙක හුරුව හා බුහුටුව නැත හිසට
උදේ තේක මොට දෙයියන්නේ මේ අපිට
බැරිවට නෙවේ...., බාලයි කිරිපිටි මෙරට

කලින් පාර එකෙක් ගියා මැරී කරලා
එකා දෙකා යන්නට යයි හෙට පැනලා
පාළුව වහන බොඩිම තුල මම රැඳිලා
කොහොමද ඉන්නේ කියපන් මට, සපූන්තිලා

Sunday, October 20, 2013

කුණු කය














ගැස්සන ඉස්සෙන ලැම පිනි වැස්සක
කෙලෙසුන් බැඳුනා මදු මල් ඉත්තක
පාවෙන දුම් වැටි මවනා රැල්ලක
නැළවෙන ලිය නුඹ එල්ලී පොල්ලක

දකිනා විඳිනා රුව නුඹේ තත්පර
සැනසුම බැඳුනා මොහොතක් අද්දර
කුණු කය දිරනා මේ ලොව විස්තර
අමතක බැව් දැනූනා මට, මත්බර

සිඟිති මුවක සුව සිනා බලන්නට
මා දුව හා මොහොතක් එක් වෙන්නට
කාලය නැත ලොව, වැඩ එතරම් මට.....
කොයි යනවද සිත, වර නැළවෙන්නට


Saturday, October 19, 2013

නැද්ද ?

පිච්ච මල් සුවඳ
නුඹේ ඔය වතට
මට වහන් වෙන්න
දිනක් එන් නැද්ද ?

සිනා මල් වඩන
නීල නෙතු බැල්ම
ලඟින් සැනසෙන්න
මට පිනක් නැත්ද ?

රෝස පෙති මැදින්
සුවය දෙව් ලොවින්
දෙතොලේ පාවෙන්න
මට ඉඩක් නැද්ද ?

Friday, October 11, 2013

නුඹ... මගේ පන.. ආ...ලය...


ලොව සනසන ගිනිදැල් අහුරක.  සුව සොයමින්…. මා ලොව අහිමිව.
එක දවසක, මතකය පොදි බැඳ . ලොවට හොරෙන් ගිනිදැල් පීරන……

නුඹ.... මගේ පන…  ආ...ලය...//

ආ....ත්මයක. හමුවී. නොසැලි .අපි පෙමින් බැඳුන. කාලය සිහිවී .
නතර වෙමුද. තව එක මොහොතක්, අතිතයේ... පෙම් සුව විදුමට.........

නුඹ.... මගේ පන… ආලය....//

මටම උරුම. එක මගේ ලොවක. කාලය පරදා….. මට තනිවන්නට.
නුඹ එනවද?. ගිනි දැල් අතරින්. අතීතයේ…. පෙම් සුවඳ රැගෙන……

නුඹ.... මගේ පන… ආලය....
රාගය.... තිට... දැනුනිද...
නුඹ.... මගේ පන… ආලය....
තාලය.... තිට.... මතකද ......

මට නුඹ, සුව  විඳ, රස කර .....
ලැබුනට. ආලය…. සස රක......

මනබන්දනයේ ප්‍රති මුර්තියක, සරලව..
නුඹ වේ.. කැටයමමා, සිත බැන්දුව, මනු දුව……


නුඹ.... මගේ පන… ආ...ලය.....
මට.... නුඹ…. මගේ…. ලෝකය…..
නුඹ.... මගේ පන… ආලය//

Tuesday, October 1, 2013

තරුණ විය

බලනු අර ඇඳි රටා මහ සයුරු සිත්තරා
වැලි කෙලින පොඩි මුහුණු ආලොකමත් කරා
සියුමැලිය පෙණ නුරා, වෙති මතක සිත දරා
පෙර දාක විඳි සුවය පෙණ පිඩළි බිඳු මරා

බරක් ඇත සිත දරා, ලොවම වියපත් වෙලා
පෙර තිබුණු මතක මං, අද කැළෑවට වෙලා
විදින තුරු යලි බලා හිඳිමි මම ගොළු වෙලා
ලබන සැම උදෑසන මොකට ජීවත් වෙලා

තරුණ විය පසූ වෙලා, නැහැ ඇඟට පන උරා
ජිවිතය විදින්නට, බැහැ කකුල් බර දරා
අරන් යන තුරු මෙමා සිටිමි හිත දුක වරා
රෝද පුටු වල රෝද, මගේ ලෝකයේ සරා

Sunday, September 22, 2013

ගෙන්දගම් පොළවට

අර බලන් සඳ  ඈත දිලෙනා සිඟිති තරුවක හැඩ
නුඹ දිහා බල බලා හොරහින් රඟන නර්තන ගොඩ
නුඹත් නිකමට නොදෑක්කා සේ දමන නෙක නෙක වැඩ
අනේ මන්දා නුඹත් සඳවත කෙල්ලො වගේමයි සැඩ

ආ වළාවන් තුරුළු කරගෙන හැංගිලා උන්නට
උනුත් ගිය පසු නුඹේ නිරුවත, පෙනයි ලොකයා හට
ලන්ඳ පිරි මැඳ බැන්ඳ සෙනෙහස මන්ද අමතක තිට
වරෙන් හනිකට නුඹට හරියන, ගෙන්දගම් පොළවට

Thursday, September 5, 2013

මාත් එක්ක (හවස හයේ සිට අට දක්වා)

සොඳුරු අඳුරු පෙම් සැඳෑව,
මා එක්කම ගත කරන්න
වින්දණීය නිමේෂයක,
අහසේ මාළිගා හදන්න
ඈත පිපෙන කඩුපුල් මල්,
රොත්ත දිහා බලා ඉන්න
මා එක්කලා ගඟ අසබඩ,
පැය දෙකකට ඔබත් එන්න

Tuesday, August 27, 2013

තී ......

රස වතී
සඳ වතී
මල් පෙතී
පරදතී...

මයේ රතී
පෙම්වතී
නුඹේ ගතී
ලොව නැතී...

Sunday, August 25, 2013

තුරුලතා

වනපෙතක හීනියට සීතලට හැංගිලා
ලිව්ව කවි ගීත මා, හදෙහි සක්මන් කලා
නුඹත් අර අතීතයේ පෙමට මගේ ලොල් වෙලා
කිම ආවේ කියන් මට, මගේ සොදුරු කොකීලා

ලවන් නුඹේ පිනන්නට නැහැනේ වස්දඬු නලා
රවන්නට එපා මට, ආලේ ඇත පුරවලා
බලන් අර නෙළුම් මල් සඳ දෙසට නෙත් වෙළා
නුඹ වාගේ ආලයෙන් සිටී මන්මත් වෙලා

වසත් කල සුන්දරව පෙමින් අතිනත් වෙළා
අර බලන් තුරුලතා ප්‍රේමයෙන් මිරිකිලා
නුඹත් ආ විගස තව දෙතුන් මස පසු වෙලා
තුරු ලතා පරදවමි, සොයන් විත් පියඹලා

Friday, August 23, 2013

And නුඹට

මුලින් මුලින් කවි ලීවේ මා නුඹට,
විහිලුවට ......
යලිත් යලිත් කවි ලියනා විට යසට,
ප්‍රේමයට ......
දැනුන දැනුන විට හැඟුමන් පේලියට,
හදවතට ......
හංඟ හංඟ හිටියා ඇති ලෝකයට,
And නුඹට........

Wednesday, August 21, 2013

සඳවතී

නොම හඬන් නුඹ සඳවතී
මා පෙලයි නුඹේ කඳුලැළී
තරු ගෙනත් දෙන්නද ඒබී
මිමිණුවේ මං රහසෙනී

ලංව ඉන්නට සිතු සැටී
තාම මතකයි බාලෙදී
නැත දුරක් මට හද රැඳී
අඹරේ උන්නත් නුඹ ඇඳී

වළාවන් නැහැ හිත බැඳි
කලේ නොමනා කම් සැදී
අඳුරු වී ලොව උන් රැඳී,
උඩු සුළං මා මිතුරෙකී

Monday, August 19, 2013

අදහන්න බෑ ...

කවීකාර හිත ගාව
නැළවෙන්න හිතුනාට
දුර ඉන්න බැව් හිතට අමතකම නෑ ...

දුර කතර නුඹ ඉන්න
බව හිතට දැනුනාම
ඇස පෙලන දුක් කඳුළු ඉවසන්න බෑ ...

හමුවන්නේ කවදාද
තව කොතෙක් කල් ඇතිද
හද නඟන මේ ගැටළු විසදන්න බෑ ...

ජිවිතය නුඹ ගාව
යැයි සිතට සිතුනාට
කිම එහෙම සිතුනේද අදහන්න බෑ ...

Sunday, August 18, 2013

කිරිල්ලියේ

ඈත පේන දෙදුණු වල
පාට දුරින් හිඳ බලන්න
සීත සොඳුරු හවස් වරුව
මා එක්කම ගත කරන්න
ප්‍රේමණිය හැන්දැවක
වළාකුලක හැඩ බලන්න
නුඹ එන්නවද කිරිල්ලියේ
මගේ උණුහුමේ ඉම සොයන්න

දුරින් ඉන්න බෑ දැන්නම්
හිත හඩනවා මේ බලන්න
හඳ තනියම කල් ගෙවනවා
තරු ටික නෑ අද පෙනෙන්න
අඳුරු වළාකුලක් ඇවිත්
තනි උන හඳ හංග ගන්න
කිරිල්ලියේ නුඹ එන්නවද
මේ අඳුරෙන් මා මුදන්න

Tuesday, August 13, 2013

නුඹේ මතකය

සිත රිදවන 
නුඹේ මතකය
වෙන කවුරුද රැගෙන ගිහින්...
වෙරළේ ඇදී
සිත් රේඛා
යළි රැළි විත් ගසා ගොසින්...
නුඹ සතුටින් 
ඉපිලෙනු දැක
මගේ සිත් මල හරි සතුටින් ...
මට හිමිවන 
එකම සතුට
නුඹ සතුටින් සිටිනු නිතින්....

Sunday, August 4, 2013

අඳුරු හදවත

ඈත දවසක
සොඳුරු ඉවුරක
නැඟෙන පෙම් රැළි... දෙස බලා...
මාත් දන්නැති
මගේ සිත තුල
නුඹත් ඉන්නැති..... සැඟවිලා....

පාට මල් ගොමු
අතර සැනසෙන
මියුරු ගීයක..... පද වෙලා...
නුඹත් ඉන්නැති
සැඳැ අඳුරක
මා සමඟ..... අතිනත් වෙලා...

රහස් මුමුණන
පළාගැටි කැළ
කිම මෙලෙස අද..... ගොළු වෙලා....
මාත් තනියම
අඳුරු හදවත
සමඟ කුටියක.... තනි වෙලා....

Wednesday, July 31, 2013

සළලෙකු නොව මම

සළලෙකු නොව මම
නුඹ ඇමතු සඳ
අදහනු හැකි වෙද
මා හද තුල නද
රවටන පටලන
නුඹේ නිල් නෙතු යුඟ
ඔරවන තාලෙට
ආල වඩයි මන

රන් මුතු නැත මට
නුඹ සරසන්නට
විල්ලුද සළු නැත
නුඹ සතපන්නට
අසවර දෙනවද
කැන්දන් යන්නට
මා පෙම් හද තුල
කූඩු බඳින්නට

Saturday, July 20, 2013

සෙනෙහස් හමුවක

සෙනෙහස් හමුවක
මතක පොදක් දැක
බර, මට කඳුලක
දැනුනා මොහොතක

ඇවිදින් හවසක
සඳ නැති දවසක
මතකයි රහසක.
අද, අප දෙතැනක

Sunday, June 30, 2013

පෙම් දළු

සොදුරු සවසක ඉවුරු අසබඩ - සිනා සයුරක නැළවීලා
උන්නූ නුඹ දැක මහද මොහොතක් - ගැසෙන රිද්මය වැඩි කලා
නුහුරු නුපුරුදු වුවත් නුඹ මට - හද කොනක ඉඟියක් වෙලා
බලා උන්නේ මටම නොදැනිම - රෝස උයනක තනි වෙලා

නුඹේ  දෙනුවන් නුඹට රහසින් - කියූ කවිපද වැටහිලා
සැදෑ අඳුරත් සමඟ මගේ හිත - හෙමි හෙමින් දුරකට වෙලා
පෑයු දවසක ගසන හෙණ වැනී - අතීතය සිහිපත් වෙලා
කපා දැමුවෙමි සිඟිති පෙම් දළු - හිතට තරවටු කරවලා

Wednesday, June 5, 2013

රැකියාව

නිදිවරමි ... දිවි ගෙවමි ... මැදියම්ව ගෙදර එමි
වැඩ කරමි ... පව් ගෙවමි ... ජීවිතය මම නොදමි
කන්තොරු ... මඩ ගොහොරු ... මංමුලා මම ම වීමී
මඟහැරුනු ... පැය අහුරු ... දෙස බලා පසුතැවෙමි

නැත නිමක් ... වැඩ රැසක් ... එයම වෙයි රැකියාව
නැති උනොත් ... වැඩ කිසිත් ... කොහිද වෙයි රැකියාව
කල යුතුයි ... වඩ පලත් ... කරන විට රැකියාව
එකක් නොව ... හිතට ගනු ... තව බොහොයි, රැකියාව

Sunday, June 2, 2013

කුජ හත :P

... මම ...
සොයා නුඹේ රුව වෙහෙසවයි නෙත
හීනකයවත් නැහැනේ සඳවත
වසා දැමුවත් මම ම හදවත
කඩපියව් දොරගුලු, කියයි සිත

... සිත ....
ගැන්නොත් පැය ගණන් හරියට දහස පනී
කිවොත් මාස ගණනින් දොලසකුත් වැනී
ගත්තොත් විදපු දහදුක මැණුමට නොදනී
ඇරියොත් ටිකක් එලියට පිං, නුඹම දනී

... මම ...
ගයනා ගීය එක දිගටම මගේම හද
අහලා මටම දුක හිතෙනවා, තලනවද
නැතිනම් ටිකක් ලීලය දී බලනවද
අයෙත් වරක් මූ දීගෙක පැටලේයිද

... සිතට ....
ගිය පාරත් උඹ හින්දයි, දුක් වින්දේ
නුඹ කුජ හතෙයි, හදහන් බලහන් බැද්දේ
කලිසන් ඇදන් නාඩං නැටුවට සද්දේ
ජීවත් වෙන්නේ බොරු විගඩම් ගොඩ මැද්දේ

Wednesday, May 22, 2013

රට නැඟුම ...

පිච්ච මල් නෑ සුදින්, නෙළුම් මල් නෑ බැතින්
පිලිගන්න බෑ සිතට, වැටහෙන්නෙ නෑ
අඳුරු කූඩාරමයි, එහි බරට මල් කිරෙයි
උන්ගෙ කුස පුරවන්න නැතිව උට බෑ

ගෙදර අටපට්ටමයි, එකක් නොව පහක්මැයි
යකඩ දී සෑදෙවේ, උණ ඕනේ නෑ
මලකඩයි සව් කොලයි සොදලා ගත යුතුයි
හෙට හවස ඇලවුමට සව් කොලත් නෑ

පොය වීකෙන්ඩ් ගිහින්  නිවඩුත් නැති හැඩයි
අපිට මුන් කෙලවන්නේ, ඡන්දේ දෙන් නෑ
හදවතින් පින් කරයි වැඩ මෙමට එපමණයි
පන්සලක් දැකගන්න වෙලාවක් නෑ

රටේ තත්වය මෙයයි, මාත් මින් එකෙක් වෙයි
පොඩි කාලේ බට කූඩූ අද උන්ට නෑ
දානයත් කඩෙන් දෙයි පින මුදල සේ සිතයි
රට නැඟුම හදවතෙයි පිට එන්නේ නෑ .....


Friday, May 10, 2013

රණවරා ..

රණවරා නුඹ හිනහුනා නොව යටි සිතින් සරදම් කරා
පල දරා නැති උනත් හිත් අග ආදරය සක්මන් කරා
සුවඳ මල් නැති මගේ ලෝකයේ ආදරෙන් හදවත වරා
මම හිඳිමි පෙර සේම හැම දින ගල් පිලිම මැද අවි දරා

හීන බොහොමයි ජිවිතේ නැත මා පැතූ ලෙස ඉටුවෙලා
නුඹ තරම් වත් මට පිනක් නැත සීත සුළගට සෙලවිලා
ගලින් නිමවූ මගේ කය තුල මෙලෙක් හදවත උණු වෙලා
බලා සිටියේ පෙම් කෙලින රඟ දුකක් නැත සතුටයි ගලා

Thursday, May 2, 2013

දැල්වෙද්දී ...


මල් මී වනය මැද මොහොතක දැල්වෙද්දී
වනපෙත සුළඟ මා හදවත තෙරපෙද්දී
නුඹ ලඟ සිහින මොකටද මේ ලෙස වෙද්දී
සුරඟන ළඳුන් වැනුවයි අත ඇළවෙද්දී

තයිලම සෙමින් පාවෙයි මා ලං වෙද්දී
අර සුරඟනන් ලාවට ගී මුමූණද්දී
මී පැණි ගුලිය දිව කට තොල ලෙවකද්දී
මා ගිය දුකට නුඹ නාඩන් මගේ සුද්දී ....

Monday, April 15, 2013

මම කොතැන ... ?


මම කොතැන නුඹ කොතැන මනු සතුන් මැද
සුර හීන මල් මාල පෙම් වදන් සොඳ
හිත වටා  දා යදම් තද වෙන්න බැඳ
මට කියපි මවන්නට නෙක නැවුම් නඳ

නෑ සිතක් බිඳුනු පෙම සසල කර හිත
ගත උනත් බෝ කලක් පෙම් සුවඳ ඇත
සිනහුනත් හැමවිටම හඩනවා හද
අද උදෙත් හීනයක් කඳුළු මොකටද

සැනසුමක් හොයනවා විටින් විට හද
රාගයෙන් පෙලෙනවා නොමසුරුව කය
නවතින්න නාවතැන් එමට මගතොට
සිත බියෙන් පෙලෙනවා වින්ද දුක දැක